ඉන්දීය නාවික හමුදාවට අයත් ‘අයි.එන්.එස්. තරංගිනී’ (INS Tarangini) රුවල් පුහුණු නෞකාව හෙට (27) සිට මාර්තු 02 දක්වා ත්‍රිකුණාමලයේත්, මාර්තු 06 සිට 09 දක්වා කොළඹ වරායේත් නිල සංචාරයක නිරත වීමට නියමිතය. මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණු වෙමින් සිටින නිලධාරීන් සඳහා සාගර යාත්‍රා කිරීමේ පුහුණුව සහ අත්දැකීම් ලබා දීමයි. කොමාණ්ඩර් නිතින් ගජ්ජාර් (Commander Nitin Gajjar) ගේ අණදීම යටතේ පැමිණෙන මෙම නෞකාව, ඉන්දියාවේ විශාඛපට්නම්හි පැවැති 2026 ජාත්‍යන්තර නාවික සමාලෝචනයට (International Fleet Review 2026) සහභාගී වීමෙන් පසු මෙලෙස දිවයිනට ළඟා වෙයි.
නවීන එන්ජින් සහ ගෑස් ටර්බයින් භාවිත වන යුගයක පවා රුවල් නැව් මගින් පුහුණුව ලබා දෙන ලොව සීමිත නාවික හමුදාවන් කිහිපය අතරින් ඉන්දීය නාවික හමුදාව ප්‍රමුඛස්ථානයක් ගනී. මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 03 දෙනෙකු සහ පුහුණු වෙමින් සිටින නිලධාරීන් 25 දෙනෙකු ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා වූ මුහුදු ගමනේදී නෞකාවට ඇතුළත් කර ගනිමින් ඔවුන්ට ප්‍රායෝගික රුවල් යාත්‍රා පුහුණුව ලබා දීමට නියමිතය. මෙය දෙරටේ නාවික හමුදා අතර පවතින “සැබෑ මිත්‍රත්වයේ පාලම” (Bridges of Friendship) තවදුරටත් ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි.














