අමෙරිකානු එක්සත් ජනපදය විසින් ආක්‍රමණය කරන ලද බටහිර ඉවුරේ (West Bank) පිහිටි ඊශ්‍රායල ජනාවාස දෙකක සිටින සිය පුරවැසියන් සඳහා සෘජුවම විදේශ ගමන් බලපත්‍ර (Passport) ඇතුළු කොන්සියුලර් සේවාවන් සැපයීමට තීරණය කර තිබේ. ජෙරුසලමේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය පවසන පරිදි, අමෙරිකානු නිදහසේ 250 වන සංවත්සරය නිමිත්තෙන් මෙම පියවර ගෙන ඇති අතර, ඒ අනුව එළඹෙන සිකුරාදා දින ‘එෆ්රාට්’ (Efrat) ජනාවාසයේදී එක් දිනක් සඳහා මෙම සේවාවන් ක්‍රියාත්මක කෙරෙනු ඇත. ජාත්‍යන්තර නීතියට අනුව බටහිර ඉවුරේ පිහිටි ඊශ්‍රායල ජනාවාස නීතිවිරෝධී ලෙස සැලකෙන පසුබිමක, අමෙරිකාව ගෙන ඇති මෙම තීරණය සියලුම රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමක් බව පලස්තීන බලධාරීන් පෙන්වා දෙයි.
පලස්තීන අධිකාරිය (Palestinian Authority) මෙම පියවර දැඩි ලෙස විවේචනය කර ඇති අතර, මෙය ජාත්‍යන්තර නීතිය පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් බවත් ස්වාධීන පලස්තීන රාජ්‍යයක් බිහිකිරීමේ බලාපොරොත්තුවලට එල්ල කළ මරු පහරක් බවත් පවසයි. හමාස් සංවිධානය ද ප්‍රකාශ කර ඇත්තේ මෙය ඊශ්‍රායලයේ ආක්‍රමණයට අමෙරිකාව ලබා දුන් ප්‍රායෝගික පිළිගැනීමක් බවයි. කෙසේ වෙතත්, ඊශ්‍රායල විදේශ අමාත්‍ය ගිඩියොන් සාර් (Gideon Saar) මෙම තීරණය සාදරයෙන් පිළිගෙන ඇති අතර, ඉදිරි මාසවලදී ‘බෙයිටාර් ඉලිට්’ (Beitar Illit) ජනාවාසයේ ද මෙවැනි පහසුකම් ලබා දීමට අමෙරිකාව සැලසුම් කර ඇත.
මෙම ප්‍රතිපත්තිමය වෙනස පිටුපස වත්මන් අමෙරිකානු තානාපති මයික් හකබී (Mike Huckabee) ගේ මැදිහත්වීම පවතින බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති. ඔහු බටහිර ඉවුර ඊශ්‍රායලයට ඈඳා ගැනීමේ දැඩි මතධාරියෙකු ලෙස ප්‍රකටය. දැනට බටහිර ඉවුරේ දස දහස් සංඛ්‍යාත අමෙරිකානු-ඊශ්‍රායල ද්විත්ව පුරවැසියන් පිරිසක් ජීවත් වන අතර, මෙම පියවර හරහා අමෙරිකාව එම ජනාවාස ඊශ්‍රායලයේ අනෙකුත් නගර හා සමානව සැලකීමට සූදානම් වන බවට සංඥා කර තිබේ. පසුගිය කාලසීමාව තුළ බටහිර ඉවුරේ පදිංචිකරුවන් සහ පලස්තීනුවන් අතර ගැටුම් උත්සන්න වී ඇති පසුබිමක මෙම තීරණය කලාපීය සාමයට දැඩි තර්ජනයක් වනු ඇතැයි මානව හිමිකම් සංවිධාන අනතුරු අඟවයි.
















