අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට යොදාගන්නා අමුද්‍රව්‍ය සහිත බහාලුම් (Containers) ළඟ තබා ගැනීමේ සිද්ධියට අදාළව දින 90 ක කාලයක් රැඳවුම් භාරයේ සිටි සම්පත් මනම්පේරි නැමැත්තා ලබන මාර්තු මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් මල්ශා කොඩිතුවක්කු මෙනෙවිය අද (26) නියෝග කළාය. බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන සිටි මෙම සැකකරු සම්බන්ධ විමර්ශන අවසන් බව පොලීසිය අධිකරණයට දැනුම් දුන් අතර, අත්අඩංගුවට ගත් අමුද්‍රව්‍ය පිළිබඳ රජයේ රස පරීක්ෂක වාර්තාවලට අනුව එහි අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 15 යි ග්‍රෑම් 19 ක ප්‍රමාණයක් අඩංගු බව අනාවරණය වී තිබේ.
මෙම නඩු විභාගය අතරතුර දැනට රැඳවුම් භාරයේ පසුවන “තැඹිලි ලහිරු” සහ “බැකෝ සමන්” යන සංවිධානාත්මක අපරාධකරුවන් ද අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, ඔවුන් ද මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට ඉදිරියේදී සැකකරුවන් ලෙස නම් කරන බව විමර්ශන නිලධාරීහු ප්‍රකාශ කළහ. විශේෂයෙන්ම තැඹිලි ලහිරු නැමැත්තාට එරෙහිව මිද්දෙණිය සහ වීරකැටිය පොලිස් ස්ථාන මගින් ගොනු කර ඇති නඩු 19 ක් ද අද දින කැඳවනු ලැබූ අතර ඒවා මාර්තු 11 වැනිදා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරිය පියවර ගත්තාය. මීට අමතරව මෙම ජාලයට සම්බන්ධ බව කියන “කෙහෙල්බද්දර පත්මේ” සහ “පානදුර නිලංග” යන අපරාධකරුවන් ද ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














