ශ්‍රී ලංකාව මුහුණ දෙන අසීරු අවස්ථාවන්හිදී ජපානය ලබා දෙන අඛණ්ඩ සහයෝගය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ විශේෂ ඇගයීමට ලක් විය. ඊයේ (25) කොළඹදී පැවැති ජපාන ජාතික දින සැමරුම් උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, මෑතකදී ශ්‍රී ලංකාව මුහුණ දුන් ද්විත්ව ආපදා තත්ත්වය හමුවේ සහන සේවා සඳහා ජපානය ලබාදුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මූල්‍ය ප්‍රදානය සහ එරටින් එවනු ලැබූ හදිසි වෛද්‍ය කණ්ඩායම දෙරට අතර පවතින ප්‍රබල මානුෂීය බැඳීම මනාව පිළිබිඹු කරන බවයි. රජය සහ මෙරට ජනතාව වෙනුවෙන් ජපානය වෙත සිය සුබපැතුම් එක් කළ අමාත්‍යවරයා, ජපානය මෙරට සංවර්ධනයේ නොසැලෙන හවුල්කරුවෙකු බව ද ප්‍රකාශ කළේය.
දෙරට අතර පවතින ආර්ථික සබඳතාවල ඉතිහාසය සිහිපත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, 1972 වසරේදී ‘නොරිටාකේ’ (Noritake) හවුල්කාරිත්වයෙන් ඇරඹි ජපන් ආයෝජන ප්‍රවාහය දශක පහකට වැඩි කාලයක් පුරා සාර්ථකව වර්ධනය වී ඇති බවයි. අද වන විට ජපානය ශ්‍රී ලංකාවට සෘජු විදේශ ආයෝජන (FDI) සපයන ප්‍රමුඛතම රටක් බවට පත්ව තිබීම සුවිශේෂී ජයග්‍රහණයකි. ආර්ථික ක්ෂේත්‍රයට පමණක් සීමා නොවී ආරක්ෂක, අධ්‍යාපන සහ සංස්කෘතික යන විවිධ අංශ ඔස්සේ මෙම සහයෝගීතාවය මේ වන විට පුළුල් වී ඇති අතර, එය දෙරටේම උපායමාර්ගික අවශ්‍යතා සඳහා මනා පිටුවහලක් වී තිබේ.
ඉදිරි වසරවලදී මෙම සබඳතාවය තවදුරටත් නව මානයන් ඔස්සේ ශක්තිමත් වනු ඇතැයි ද, එමගින් දෙරටටම පොදු ප්‍රතිලාභ රැසක් අත්වනු ඇතැයි ද රජය විශ්වාසය පළ කරයි. විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නවීකරණ කටයුතු සහ තාක්ෂණික හුවමාරුව සම්බන්ධයෙන් ජපානය සමඟ පවතින සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ද මෙහිදී සඳහන් විය. මෙම අවස්ථාවට ජපාන තානාපති මිසුකොෂි හිදෙඅකි මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටියහ.














