වතු කම්කරු ජනතාව සඳහා රජයෙන් ලබාදෙන රුපියල් 200ක දෛනික පැමිණීමේ දීමනාව සඳහා විධිමත් නෛතික පසුබිමක් සකස් කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති රැස්වීමකදී මෙම කරුණු අනාවරණය විය. වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට කාරක සභාවේ විරුද්ධත්වයක් නොමැති වුවද, දැනට මෙම දීමනාව ගෙවනු ලබන්නේ ගැසට් නිවේදනයකින් තොරව පෞද්ගලික වතු සමාගම් සමඟ ඇති කරගත් වසර තුනක අවබෝධතා ගිවිසුමක් (MOU) මත පමණක් බව මෙහිදී හෙළි විය.
මෙම ගෙවීම් ක්‍රමය තුළ පවතින ගැටලුකාරී තත්ත්වයන් කිහිපයක් පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු විය. විශේෂයෙන්ම මෙම රුපියල් 200ක මුදල සේවක අර්ථසාධක අරමුදලට (EPF) හෝ සේවක භාරකාර අරමුදලට (ETF) දායක නොවන බවත්, පෞද්ගලික ආයතනවල වැටුප් ගෙවීම සඳහා රාජ්‍ය මුදල් නිසි මූල්‍ය විනයකින් තොරව යෙදවීම නුසුදුසු බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය. මීට අමතරව, මෙම ගෙවීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන නොමැති බවද නිලධාරීන් මෙහිදී පිළිගත්තේය.
2026 අයවැය මගින් අනුමත කර ඇති මෙම මුදල ‘සංවර්ධන සහනාධාරයක්’ (Development subsidy) ලෙස නම් කර තිබුණද, එය ‘නිෂ්පාදන දිරිගැන්වීමක්’ (Production incentive) ලෙස හැඳින්වීම වඩාත් උචිත බව නියෝජ්‍ය මහා භාණ්ඩාගාර ලේකම්වරයා පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, දැනට පවතින අවබෝධතා ගිවිසුම්වල එවැනි නිෂ්පාදන කොන්දේසි ඇතුළත් නොවන බව නිරීක්ෂණය විය. මෙම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, වතු කම්කරුවන්ට හිමි මෙම දීමනාව සුරක්ෂිත වන පරිදි වහාම නීත්‍යානුකූල පදනමක් සකස් කරන ලෙස කාරක සභාව බලධාරීන්ට අවධාරණය කළේය.














