ඇමෙරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්ත හවුල්කාරිත්ව වැඩසටහන (Montana State Partnership Program) නියෝජනය කරන දූත පිරිසක්, ශ්‍රී ලංකාවේ මිනිරන් කර්මාන්තයේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සමඟ විශේෂ සාකච්ඡාවක නිරත වී තිබේ. මෙම නියෝජිත පිරිසට මූනි සමූහ ව්‍යාපාරයේ (Mooney Group LLC) නියෝජිතයින් ද ඇතුළත් වූ අතර, ශ්‍රී ලංකාවේ මිනිරන් ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික විශේෂඥතාව සහ ගෝලීය වෙළඳපොළ ප්‍රවේශය ලබා දීමට ඔවුන් එහිදී දැඩි කැමැත්තක් පළ කර ඇත.වටිනාකම එකතු කළ නිෂ්පාදන ප්‍රවර්ධනය කෙරෙන සෘජු විදේශ ආයෝජන සඳහා ශ්‍රී ලංකා රජය උපරිම සහාය ලබා දෙන බව තානාපති මහින්ද සමරසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය. තාක්ෂණය, ආරක්ෂාව සහ පාරිසරික ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා දෙරට අතර ඇති වන මෙම සහයෝගීතාවය ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත්, ගෝලීය ඛනිජ සැපයුම් දාමය තුළ ශ්‍රී ලංකාවේ භූමිකාව ඉහළ නැංවීමටත් මහෝපකාරී වනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.මෙම සාකච්ඡාව සඳහා නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී මධුක වික්‍රමාරච්චි, වාණිජ අමාත්‍ය නලින්ද විජේරත්න සහ ආරක්ෂක උපදේශක දුමිඳු අබේවික්‍රම යන මහත්වරුන් ද සහභාගී වූහ. විද්‍යුත් වාහන (EV) බැටරි නිෂ්පාදනය ඇතුළු නවීන තාක්ෂණික ක්ෂේත්‍ර සඳහා මිනිරන් අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වී ඇති පසුබිමක, ඇමෙරිකානු සමාගම් මෙලෙස මෙරට මිනිරන් කර්මාන්තයට උනන්දුවක් දැක්වීම ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයට වැදගත් සන්ධිස්ථානයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














