ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය පෙබරවාරි 20 වැනිදා ලබා දුන් තීන්දුවක් හේතුවෙන්, ජනාධිපති ට්‍රම්ප් විසින් “ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පනත” (IEEPA) යටතේ පනවා තිබූ පුළුල් ආනයන බදු අවලංගු වී තිබේ. ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) ආයතනය පෙන්වා දෙන්නේ මෙමගින් ඇමෙරිකාවේ ක්‍රියාකාරී බදු අනුපාතය 13% සිට 6% දක්වා අඩකින් පමණ අඩු වන බවයි. කෙසේ වෙතත්, මෙම තීන්දුවට පැය කිහිපයකට පසු ප්‍රතිචාර දැක්වූ ට්‍රම්ප් පරිපාලනය, 1974 වෙළඳ පනතේ 122 වැනි වගන්තිය යටතේ නව 10% ක ගෝලීය බද්දක් හඳුන්වා දුන් අතර, පසුව එය 15% දක්වා ඉහළ නංවන ලදී.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව, ජනාධිපතිවරයාට ඒකපාර්ශ්විකව IEEPA පනත හරහා බදු පැනවීමට බලයක් නොමැත. මෙමගින් ඇමෙරිකානු රජයට වාර්ෂිකව අහිමි වන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 240 ක් (දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.8%) පමණ වේ. වඩාත්ම බරපතල ගැටලුව වී ඇත්තේ, මීට පෙර ගෙවන ලද බදු මුදල් (ඩොලර් බිලියන 175 ක් පමණ) ආනයනකරුවන්ට යළි ගෙවීමට සිදු වේද යන්නයි. එසේ වුවහොත් එය ඇමෙරිකාවේ රාජ්‍ය මූල්‍ය ශේෂයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.
ජනාධිපතිවරයා නව 15% ක බද්ද හඳුන්වා දුන් 122 වැනි වගන්තිය යටතේ කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව බදු පැනවිය හැක්කේ දින 150 කට පමණි. එම කාලයෙන් පසු ඇමෙරිකානු වෙළඳ ප්‍රතිපත්තිය කුමන දිශාවකට ගමන් කරනු ඇත්ද යන්න පිළිබඳව ලෝක වෙළඳපොළ තුළ දැඩි අවිනිශ්චිතතාවක් හටගෙන තිබේ. නව බදු සංශෝධන යටතේ මගී වාහන, ඖෂධ සහ ඇතැම් ඉලෙක්ට්‍රොනික උපාංග සඳහා විශේෂ සහන හිමි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, බදු ආදායම් අඩුවීම සහ ඇති විය හැකි මූල්‍ය අවදානම් හේතුවෙන් 2026 වසරේ ඇමෙරිකාවේ අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.3% දක්වා ඉහළ යා හැකි බව ෆිච් ආයතනය අනතුරු අඟවයි.













