රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම වර්තමාන රජය විසින් සිදු කළ තවත් එක් රැවටීමක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි. කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, මෙම පියවර කාදිනල්තුමන්, කතෝලික සභාව සහ පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්වූ වින්දිතයන් රැවටීම සඳහා මෙන්ම මහජන අවධානය වෙනතකට යොමු කිරීම සඳහා ගත් උත්සාහයක් ලෙස තමා දකින බවයි.
චැනල් 4 නාලිකාව හරහා අසාද් මවුලානා ඉදිරිපත් කළ චෝදනා පදනම් විරහිත බව පෙන්වා දුන් වීරසේකර මහතා, අදාළ කාලවකවානුව තුළ සුරේෂ් සලේ මෙරට රැඳී නොසිටි බවට සාක්ෂි ඉදිරිපත් කළේය. 2016 දෙසැම්බර් සිට 2018 දෙසැම්බර් දක්වා ඔහු මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කළ බවත්, 2019 ජනවාරි සිට එම වසරේ දෙසැම්බර් දක්වා ඉන්දියාවේ ජාතික ආරක්ෂක පීඨයේ පුහුණුව ලැබූ බවත් හිටපු මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය. එබැවින් සහරාන් හමු වීමට ඔහු ලංකාවට පැමිණි බවට එල්ල වන චෝදනා හාස්‍යජනක බවත්, පිල්ලෙයාන්ගේ හිටපු ලේකම්වරයා දේශපාලන රැකවරණය පතා රටින් පලා ගොස් මෙවැනි අසත්‍ය ප්‍රකාශ කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














