අවසර පත්‍ර හා දීමනා පත්‍ර මත ඉඩම් භුක්ති විඳින ගොවි ජනතාව ඇතුළු මහජනතාවට එම ඉඩම්වල පරම අයිතිය පවරා දීමේ ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර පිළිගැන්වීමේ ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (27) පස්වරු 2.00ට අනුරාධපුරයේදී ආරම්භ වේ. අනුරාධපුර කොරකහවැව උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන මෙම සමාරම්භක උළෙලේදී ප්‍රතිලාභීන් 500ක් සඳහා නිදහස් ප්‍රදානපත්‍ර බෙදා දීමට නියමිතය.
1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ මෙතෙක් පරම අයිතිය නොමැතිව ඉඩම් පරිහරණය කළ ජනතාවට මුහුණ දීමට සිදු වූ ආර්ථික හා සංවර්ධන ගැටලුවලට විසඳුම් ලබා දීම මෙහි අරමුණයි. ඒ අනුව 1947 අංක 8 දරන රජයේ ඉඩම් ආඥා පනතට අනුකූලව, පවතින සීමාකාරී කොන්දේසි ඉවත් කර මෙම නිදහස් ප්‍රදානපත්‍ර නිකුත් කරනු ලැබේ. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සහ ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන මෙම වැඩසටහන ඉදිරියේදී දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත.













