නිවාඩු ලබා නිවසට පැමිණ සිටි 22 හැවිරිදි තරුණ යුද හමුදා සෙබළෙකු, අම්පාර – මහනුවර ප්‍රධාන මාර්ගයේ සමනබැද්ද පිරිවෙන අසලදී ඊයේ (25) සිදුවූ දරුණු යතුරුපැදි අනතුරකින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. උහන ප්‍රදේශයේ සිට අම්පාර දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදිය වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන, අසල තිබූ අධි බලැති විදුලි රැහැන් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය තහවුරු කරයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ සෙබළා මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක ආධාරයෙන් වහාම අම්පාර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි දැඩි සත්කාර ඒකකයේදී වෛද්‍යවරුන් ඔහුව බේරා ගැනීමට දැඩි උත්සාහයක නිරත වුවද ප්‍රතිඵල රහිත වී තිබේ. මෙසේ මියගොස් ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික බලඇණියේ, මුලතිව් කඳවුරේ සේවය කළ ආර්.එච්. උදික මලින්ද රණසිංහ නමැති සෙබළෙකි.
මියගිය සෙබළා පොළොන්නරුවේ සහ මහියංගණයේ පදිංචි සිය ඥාතීන්ගේ සුවදුක් බැලීමට ගොස් යළි අම්පාර, පොල්වත්ත ප්‍රදේශයේ පිහිටි සිය නිවස බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත. අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ප්‍රියන්ත බණ්ඩාර කස්තුරිආරච්චි මහතාගේ උපදෙස් මත උහන පොලිස් ස්ථානාධිපති ඇතුළු රථවාහන අංශයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.














