මඩකලපුව – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ එරාවූර්, මුහන්දිරම් පාර හන්දිය ආසන්නයේදී ඊයේ (25) සිදුවූ දරුණු රිය අනතුරකින් 83 හැවිරිදි වියෝවෘද්ධ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. සිය පාපැදිය තල්ලු කරමින් මාර්ගය හරහා ගමන් කරමින් සිටි මෙම පුද්ගලයා, මඩකලපුව දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව එරාවූර් පොලිසිය වාර්තා කරයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ ඔහුව වහාම එරාවූර් රෝහලට ඇතුළත් කර ඇති නමුත්, රෝහල්ගත කරන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ එරාවූර් 06 ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි. වයෝවෘද්ධ පුද්ගලයින් මාර්ගය භාවිතා කිරීමේදී පවතින අවදානම සහ රියදුරන්ගේ අවධානය ගිලිහීම මෙවැනි අනතුරු වලට ප්‍රධාන හේතුවක් වී ඇති බව පොලිසිය පෙන්වා දෙයි.
අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු එරාවූර් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ඉදිරි දිනකදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය එරාවූර් රෝහලේදී පැවැත්වෙන අතර එරාවූර් පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.













