ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුව (Commercial Bank), 2025 මූල්‍ය වර්ෂය තුළ රුපියල් ට්‍රිලියන 2ක ණය සීමාව පසුකළ මෙරට පළමු පුද්ගලික බැංකුව බවට පත්වෙමින් නව වාර්තාවක් පිහිටුවා තිබේ. පසුගිය මාස 12 තුළ බැංකුව රුපියල් බිලියන 541 කින් සිය ණය පොත වර්ධනය කරගෙන ඇති අතර, එය මසකට සාමාන්‍යයෙන් රුපියල් බිලියන 45 කට වැඩි අගයකි.
බැංකුවේ සමස්ත වත්කම් පදනම 16.78% කින් වර්ධනය වී රුපියල් ට්‍රිලියන 3.258 දක්වා ඉහළ ගොස් ඇත. මෙය 2024 වසරේ වාර්තා වූ වර්ධනය මෙන් දෙගුණයකටත් වඩා වැඩි අගයකි. තැන්පතු පදනම ද රුපියල් බිලියන 372 කින් ඉහළ ගොස් වසර අවසානයේදී රුපියල් ට්‍රිලියන 2.6 ක් ලෙස සටහන් විය. බැංකුවේ ශක්තිමත් මූල්‍ය පදනම පිළිඹිබු කරන ජංගම සහ ඉතුරුම් ගිණුම් අනුපාතය (CASA ratio) ද 39.65% දක්වා වර්ධනය වී තිබීම සුවිශේෂී වේ.
මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් බැංකුවේ සභාපති ශර්හාන් මුහ්සීන් මහතා ප්‍රකාශ කළේ, කොටස් හිමියන්ගේ වටිනාකම සුරැකෙන පරිදි ආදායම් ඔරොත්තු දීමේ හැකියාව සහ විනයගරුක අවදානම් කළමනාකරණය කෙරෙහි බැංකුව නිරන්තර අවධානය යොමු කළ බවයි. කළමනාකාර අධ්‍යක්ෂ සනාත් මනතුංග මහතා පෙන්වා දුන්නේ, බැංකුවේ පරිමාණය සහ විනයානුකූල මූල්‍ය හැසිරීම තුළින් පාරිභෝගිකයන්ට වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීමට හැකි වූ බවයි.
බැංකුව 2025 වසර සඳහා රුපියල් බිලියන 58.49 ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව 44.05% ක වර්ධනයකි. කාඩ්පත් සේවා සහ ණය පහසුකම් හරහා ලැබුණු ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම ද 22.05% කින් ඉහළ ගොස් තිබේ. ඩිජිටල් නවෝත්පාදනයේ පෙරගමන්කරුවෙකු වන කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ ප්‍රථම 100% ක්ම කාබන් මධ්‍යස්ථ (Carbon-Neutral) බැංකුව ලෙස ද සිය නාමය තහවුරු කරගෙන ඇත.














