ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත මධුශංක හෙවත් ‘පොඩි ලැසී’ නැමැත්තා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් අද (27) අලුයම මෙරටට රැගෙන එනු ලැබීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිත බවයි.
මීට පෙර වාර්තා වූ පරිදි, 2024 වසරේ දෙසැම්බර් මස ඇප ලබාගැනීමෙන් පසු මොහු මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලා ගොස් තිබුණි. පසුව 2025 ජනවාරි මාසයේදී ඉන්දියාවේ මුම්බායි නුවරදී එරට ආරක්ෂක අංශ විසින් මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ ජාත්‍යන්තර පොලීසියේ සහ රාජතාන්ත්‍රික මැදිහත්වීම් මතය. අද අලුයම 05.55 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-142 දරන ගුවන් යානයෙන් කටුනායකට රැගෙන ආ ඔහු දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යන ලදී.
සැකකරුට එරෙහිව පවතින විවිධ අපරාධ චෝදනා සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇල්පිටිය සහ ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශ ඒකාබද්ධව ඉදිරි විමර්ශන මෙහෙයවනු ඇත. මෙරට ප්‍රධාන පෙළේ පාතාල ක්‍රියාකාරිකයෙකු වන පොඩි ලැසී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒම, සංවිධානාත්මක අපරාධ මර්දන මෙහෙයුම්වල සුවිශේෂී ඉදිරි පියවරක් ලෙස සැලකේ.













