වසර 60කට පෙර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී ලොවම මවිත කළ ශ්‍රී ලාංකික ධාවන ශූර රණතුංග කරුණානන්දගේ අභිමානවත් කථා පුවත අදටත් ජපානයේ පාසල් දරුවන්ගේ පෙළපොත් හරහා ජීවමානව පවතින බව ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකියෝ ඉසොමාටා මහතා ප්‍රකාශ කරයි. කොළඹ පැවති විශේෂ උත්සවයකදී අදහස් දක්වමින් තානාපතිවරයා අවධාරණය කළේ 1964 වසරේදී අවසන් ස්ථානයට පත්වුවද ඔහු පෙන්වූ අසිරිමත් අධිෂ්ඨානය, නොසැලෙන උත්සාහය පිළිබඳ ලෝකයටම ලබාදෙන උතුම් පාඩමක් ලෙස ජපන් අධ්‍යාපන පද්ධතියට ඇතුළත් කර ඇති බවයි. 1970 දශකයේදී ප්‍රාථමික පාසල් පොත්වල ජනප්‍රිය වූ මෙම කතාව, වර්තමානය වන විට ජපානයේ උසස් පාසල් ඉංග්‍රීසි පෙළපොත් සඳහා ද ඇතුළත් කරමින් නව පරපුරට ආදර්ශයක් ලෙස සමීප කර තිබේ.
1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 10,000 තරගයේදී දරුණු සෙම්ප්‍රතිශ්‍යාවකින් පීඩා විඳිමින් සිටියද කරුණානන්ද මහතා තරගය අතරමග නතර නොකර ඉදිරියටම දිව ගියේය. අනෙක් සියලුම ක්‍රීඩකයන් තරගය අවසන් කරන විට ඔහුට තවත් වට තුනක් ඉතිරිව තිබූ අතර, ඔහු තනිවම ක්‍රීඩාංගණය වටා දුවන අයුරු දුටු 70,000කට අධික ප්‍රේක්ෂකයින් මුලින් සිනාසුණද, පසුව ඔහුගේ අප්‍රතිහත ධෛර්යය වටහාගෙන අසුන්වලින් නැගී සිටිමින් අත්පොළසන් දී ඔහුට ගෞරවය පුද කළහ. තම දියණියට “ඔයාගේ තාත්තා තරගය දිනුවේ නැතත් කවදාවත් උත්සාහය අත්හැරියේ නැහැ” යනුවෙන් කීමට තමන් කැමති බව පවසමින් එදා ඔහු කළ ප්‍රකාශය අදටත් ජාත්‍යන්තර ක්‍රීඩා ලෝකයේ උපුටා දැක්වීමක් බවට පත්ව තිබේ. කරුණානන්ද මහතාගේ පුත්‍රයා සහ මුණුබුරා ද සහභාගී වූ මෙම උත්සවයේදී තානාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ජයග්‍රාහකයාට වඩා අවසානයට පැමිණි ඒ විශිෂ්ට මිනිසාට එදා ජපානය පිරිනැමූ ගෞරවය අදටත් එලෙසම පවතින බවයි.













