වීරඹුගෙදර සහ බෙම්මුල්ල පොලිස් වසම් තුළින් ඊයේ (26) දහවල් කාලයේදී සැකකටයුතු මරණ දෙකක් වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ. වීරඹුගෙදර, ගෝනව දෙමටලන්දවත්ත ප්‍රදේශයේ ලඳු කැලෑවක තිබී 65 හැවිරිදි කාන්තාවකගේ මෘත ශරීරයක් සොයාගෙන ඇති අතර, ඇයගේ ගෙලෙහි කුඩා ලනුවක් තිබීම හේතුවෙන් මෙය ඝාතනයක් දැයි සැකයක් මතු වී ඇත. මෘත ශරීරය අසල තිබී ඇයට අයත් ගමන් බෑගයක් සහ මුදල් පසුම්බියක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර මරණයට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මේ අතර බෙම්මුල්ල, බාස්ලියැද්ද ප්‍රදේශයේ වෙල්යායක තිබී 76 හැවිරිදි පුද්ගලයෙකු පිළිස්සී මියගොස් සිටියදී සොයාගෙන ඇති අතර එම මරණය සම්බන්ධයෙන් ද දැඩි සැකයක් මතුව පවතී. මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇති අතර, මෙය පුද්ගල ඝාතනයක් ද යන්න තහවුරු කර ගැනීම සඳහා බෙම්මුල්ල පොලිසිය විශේෂ විමර්ශන කණ්ඩායම් යොදවා ඇත. මෙම සිදුවීම් දෙකම සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන මගින් අධිකරණ වෛද්‍ය වාර්තා සහ සාක්ෂි විමසීම් කඩිනමින් සිදු කරමින් පවතී.














