රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කරමින්, ලබන සඳුදා (මාර්තු 02) සිට දිවයින පුරා පැවැත්වෙන ‘ආරෝග්‍යා සායන’ සඳහා සහභාගී නොවීමට තීරණය කර තිබේ. වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙසත්, සුවිශේෂී වෛද්‍ය සේවයක් ස්ථාපිත කරන ලෙසත් බල කරමින් මාසයකට අධික කාලයක සිට ඔවුන් මෙම අරගලයේ නිරතව සිටිති.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව විසින් පසුගිය 25 වැනිදා මෙම තීරණය ගනු ලැබූ බව එම සංගමයේ කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා තහවුරු කළේය. රජය විසින් දේශපාලන අවශ්‍යතා මත රට පුරා ආරෝග්‍යා සායන 50ක් පමණ සහ ජංගම සායන ක්‍රියාත්මක කළද, සෞඛ්‍ය පද්ධතියේ පවතින සැබෑ ප්‍රශ්න පිළිබඳව රජය හෝ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙතෙක් සාධනීය මැදිහත්වීමක් සිදු කර නොමැති බවට වෛද්‍යවරු චෝදනා කරති.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ප්‍රජා සෞඛ්‍ය සේවාවන් සඳහා යම් බලපෑමක් එල්ල විය හැකි අතර, වෛද්‍යවරුන් පවසන්නේ තමන්ගේ ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාර නොලැබෙන්නේ නම් ඉදිරියේදී සටන තවදුරටත් දැඩි කරන බවයි. රජය සහ වෛද්‍යවරුන් අතර පවතින මෙම අර්බුදය සමනය කිරීම සඳහා මෙතෙක් ස්ථිර විසඳුමක් ඉදිරිපත් වී නොමැත.














