කිණිතු (Tick) සපා කෑමක් හේතුවෙන් හටගත් දුර්ලභ මස් අසාත්මිකතාවයක් (Mammalian Meat Allergy) නිසා 16 හැවිරිදි ඕස්ට්‍රේලියානු තරුණයෙකු වන ජෙරමි වෙබ් අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව මරණ පරීක්ෂණ වාර්තාවලින් තහවුරු වී තිබේ. 2022 වසරේ සිදුවූ මෙම මරණය, කිණිතු සපා කෑමෙන් ඇතිවන මස් අසාත්මිකතාවයක් හේතුවෙන් ලොව වාර්තා වූ පළමු මරණය ලෙස ඉතිහාසයට එක්ව ඇත.
2022 වසරේ ජුනි මාසයේදී නිව් සවුත් වේල්ස් ප්‍රදේශයේ කඳවුරු බැඳ සිටියදී හරක් මස් සොසේජස් අනුභව කළ ජෙරමිට හදිසියේම හුස්ම ගැනීමේ අපහසුවක් ඇති වී තිබේ. රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මියගිය අතර, මුලදී එය ඇදුම රෝගී තත්ත්වයක් ලෙස සැලකුණද, පසුව කළ දීර්ඝ පරීක්ෂණවලදී හෙළි වූයේ ඔහු ‘ඇල්ෆා-ගැල්’ (alpha-gal) නමැති අසාත්මිකතාවයෙන් පෙළී ඇති බවයි. කිණිතු සපා කෑමේදී ඔවුන්ගේ කෙල හරහා මිනිස් සිරුරට ඇතුළු වන මෙම සීනි අණුවට එරෙහිව ශරීරය ප්‍රතිදේහ නිපදවන අතර, පසුව රතු මස් අනුභව කිරීමේදී දැඩි අසාත්මිකතාවයක් (Anaphylaxis) ඇති වේ.
විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ මෙම අසාත්මිකතාවයේ රෝග ලක්ෂණ මස් අනුභව කර පැය 3 සිට 6 දක්වා කාලයකට පසුව මතු වන බැවින් එය හඳුනා ගැනීම අපහසු විය හැකි බවයි. ජෙරමිගේ මරණයෙන් පසු 2024 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ ගුවන් නියමුවෙකුද මෙවැනිම තත්ත්වයකින් මියගොස් ඇති අතර, මේ වන විට ලොව පුරා මෙවැනි මරණ වාර්තා වී ඇත්තේ දෙකක් පමණි.
මෙම සිදුවීම හරහා කිණිතු බහුල ප්‍රදේශවල වෙසෙන ජනතාවට මස් අනුභවයෙන් පසු ඇතිවන අජීර්ණ හෝ හුස්ම ගැනීමේ අපහසුතා පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ජෙරමිගේ දෙමාපියන් පවසන්නේ මෙවැනි දුර්ලභ රෝගී තත්ත්වයන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම හරහා තවත් ජීවිතයක් බේරා ගැනීමට හැකි වනු ඇති බවයි.















