ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධනයක් කරා යන ගමනේදී ඉන්දියාව සමඟ පවතින ආර්ථික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, මෙරටට පැමිණෙන ආයෝජකයින් සහ සංචාරක ප්‍රජාව සාදරයෙන් පිළිගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පසුගියදා (පෙබරවාරි 26) පැවති ශ්‍රී ලංකා – ඉන්දියා සංගමයේ විශේෂ සැමරුම් උත්සවය අමතමින් ඇය මේ බව අවධාරණය කළාය. ඉන්දියාවේ 77 වන ජනරජ දිනය සහ ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය සැමරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම රාත්‍රී භෝජන සංග්‍රහයේදී, 1949 වසරේ සිට දෙරට අතර ජනතා සබඳතා වර්ධනය කිරීමට එම සංගමය දක්වන දායකත්වය අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට ලක් විය.
පසුගිය වසර තුළ දෙරට අතර පැවති ද්විපාර්ශ්වික සබඳතා බෙහෙවින් ප්‍රශස්ත මට්ටමක පැවති බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරිය, විශේෂයෙන් ‘දිට්වා’ සුළි කුණාටු ආපදාවේදී ඉන්දියාව ක්‍රියාත්මක කළ “සාගර බන්ධු” සහන මෙහෙයුම සහ ශ්‍රී ලංකාව නගාසිටුවීම වෙනුවෙන් ලබාදුන් ඇමරිකානු ඩොලර් මිලියන 454 ක සහන පැකේජය පිළිබඳව සිය කෘතඥතාව පළ කළාය. බලශක්තිය, වෙළඳාම, ඩිජිටල් පරිවර්තනය සහ සමුද්‍රීය ආරක්ෂාව වැනි බහුවිධ අංශ ඔස්සේ මෙම හවුල්කාරිත්වය විහිදී ඇති බවත්, ඉන්දියානු ව්‍යාපාරික ප්‍රජාවට මෙරට ආයෝජන අවස්ථා පුළුල් කිරීමට අවශ්‍ය පසුබිම සකසන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
මෙහිදී අදහස් දැක්වූ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසා සිටියේ දෙරට අතර පවතින සබඳතාව රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ඔබ්බට ගිය සහෝදරත්වයකින් යුක්ත වන්නක් බවයි. ඉන්දියාවෙන් බැහැරව පිරිනමනු ලබන ප්‍රථම ජාත්‍යන්තර උපාධිය ශ්‍රී ලංකාව තුළ හඳුන්වා දීම හරහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කර ඇති බවත්, සන්නිවේදන සහ පුද්ගල සබඳතා වත්මන් කාලය තුළ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන බවත් ඔහු පැවසීය. මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා – ඉන්දියා සංගමයේ නිල සඟරාව සහ “Port of Call” ග්‍රන්ථය ද එළිදැක්වුණු අතර, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.















