ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව ප්‍රධාන විධායක නිලධාරී (CEO) තනතුර සඳහා සුදුසුකම් ලත් අයදුම්කරුවන් 10 දෙනෙකු කෙටි ලැයිස්තුගත කිරීමට පියවර ගෙන තිබේ. මෙලෙස තේරී පත්ව ඇති ලැයිස්තුවට එයාර් නිව්ගිනි හි හිටපු ප්‍රධාන විධායක නිලධාරී වසන්ත කුමාරසිරි, කැප්ටන් නවින් ද සිල්වා, කැප්ටන් අනුපම පතිරණ, විදේශිකයෙකු වන කැප්ටන් ජෝර්ජ් කමල්, මූල්‍ය විශේෂඥ සංජන ප්‍රනාන්දු, වත්මන් වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී යසන්ත දිසානායක, සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු සභාපති උපුල් ධර්මදාස, පෝල් කැරොල් (විදේශිකයෙක්), මොහාන් එස්. මීගොල්ල සහ කැප්ටන් තේමිය අබේවික්‍රම යන මහත්වරුන් ඇතුළත් වේ.
මේ අතර, 1999 සිට 2008 දක්වා එම ධුරය දැරූ ප්‍රවීණ ගුවන් සේවා නිලධාරියෙකු වන පීටර් හිල් මහතා වෙත ද රජය විසින් මේ සඳහා නිල නොවන මට්ටමින් ඇරයුම් කර තිබේ. එහෙත් ශ්‍රී ලංකාව තුළ ආරම්භ වීමට නියමිත නව ගුවන් සේවයක ප්‍රධාන විධායක ධුරය භාර ගැනීමට ඒ වන විටත් එකඟ වී ඇති බැවින් පීටර් හිල් මහතා එම ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. එම නව ගුවන් සේවය ඕස්ට්‍රේලියානු මගී වෙළෙඳපොළ ඉලක්ක කරගත් ‘ජෙට්ස්ටාර්’ (Jetstar) විය හැකි බවට ද ක්ෂේත්‍රය තුළ කතාබහක් පවතී.















