ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර පවතින ද්විපාර්ශ්වික ආර්ථික හා දේශපාලන සබඳතා නව මානයකට ඔසවා තැබීමේ අරමුණින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ජර්මනිය බලා පිටත්ව යයි. අද (26) ආරම්භ වන මෙම සංචාරයේ ප්‍රධානතම ඉලක්කය වී ඇත්තේ දෙරට අතර වෙළෙඳ ගනුදෙනු පුළුල් කිරීම සහ ශ්‍රී ලාංකිකයින් සඳහා ජර්මනියේ විදේශ රැකියා ක්ෂේත්‍රය තුළ වැඩි අවස්ථා ප්‍රමාණයක් උදාකර ගැනීමයි. ජර්මානු – ආසියා ශාන්තිකර ව්‍යාපාරික සංගමය (OAV) විසින් කරන ලද විශේෂ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කරයි.
මෙම සංචාරයේ සුවිශේෂී අවස්ථාවක් ලෙස OAV සංගමයේ 125 වැනි සංවත්සර උත්සවයට ආසියානු කලාපය නියෝජනය කරමින් ගෞරවනීය අමුත්තා සහ ප්‍රධාන දේශකයා ලෙස සහභාගී වීමට අමාත්‍යවරයාට අවස්ථාව හිමිව තිබේ. බ්‍රෙමන් නුවරදී පැවැත්වෙන මෙම උත්සවයට ජර්මනිය නියෝජනය කරමින් එරට විදේශ අමාත්‍ය ජොහාන් වඩෙෆුල් (Johann Wadephul) මහතා ද එක්වීමට නියමිතය. මෙම ඉහළ පෙළේ හමුවීම් හරහා ජර්මානු ආයෝජකයින් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීමටත්, දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමටත් අපේක්ෂිතය.















