ශ්‍රී ලංකාව නැවත නගා සිටුවීමේ කටයුතු වෙනුවෙන් ඉන්දියාව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 454ක දිගුකාලීන සහනදායී මූල්‍ය පැකේජයක් ප්‍රකාශයට පත් කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ඉහළ ඇගයීමට ලක්ව තිබේ. ඉන්දියාවේ 77 වන ජනරජ දිනය සහ ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා – ඉන්දියා සංගමය සංවිධානය කළ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය අමතමින් ඇය මේ බව පැවසුවාය. තිරසාර සංවර්ධනයක් කරා යන මෙරට ගමනේදී ඉන්දියාව සමීපතම අසල්වැසියා ලෙසත්, වැදගත් හවුල්කරුවෙකු ලෙසත් ලබාදෙන සහයෝගය ශ්‍රී ලංකාව අගය කරන බව ඇය එහිදී අවධාරණය කළාය.
පසුගිය කාලසීමාව තුළ දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වූ අයුරු සිහිපත් කළ අග්‍රාමාත්‍යවරිය, විශේෂයෙන් ‘දිට්වා’ සුළි කුණාටු ආපදාවේදී ඉන්දියාව ක්‍රියාත්මක කළ “සාගර බන්ධු” සහන මෙහෙයුම සහ දෙව්නිමෝරි ශුද්ධ ධාතූන් වහන්සේලා මෙරටට වැඩම කරවීමට ලබාදුන් සහය පිළිබඳව සිය කෘතඥතාව පළ කළාය. බලශක්තිය, වෙළඳාම, ඩිජිටල් පරිවර්තනය සහ සමුද්‍රීය ආරක්ෂාව වැනි බහුවිධ අංශ ඔස්සේ මෙම හවුල්කාරිත්වය පුළුල් වී ඇති අතර, ඉන්දියානු ව්‍යාපාරිකයින්ට සහ සංචාරකයින්ට ශ්‍රී ලංකාව තුළ පවතින අවස්ථා තවදුරටත් වැඩිදියුණු කරන බව ද ඇය සඳහන් කළාය.
මෙම අවස්ථාවට එක්වූ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පෙන්වා දුන්නේ දෙරට අතර සබඳතාව රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ඔබ්බට ගිය විශේෂ සහෝදරත්වයක් බවයි. ඉන්දියාවෙන් බැහැරව පිරිනමනු ලබන ප්‍රථම ජාත්‍යන්තර උපාධිය ශ්‍රී ලංකාව තුළ හඳුන්වා දීම හරහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කර ඇති බවත්, පුද්ගල සබඳතා වත්මන් කාලය තුළ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. උත්සවය අතරතුර ශ්‍රී ලංකා – ඉන්දියා සංගමයේ නිල සඟරාව සහ “Port of Call” ග්‍රන්ථය ද අග්‍රාමාත්‍යවරිය වෙත පිළිගන්වන ලදී.














