සමන්තුරේ, නෙයිනකාඩු ප්‍රදේශයේ අනවසර වැලි ගොඩදැමීමක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසක් ලොරි රථයකට යට කර මරා දැමීමට ගත් උත්සාහයක් අද (27) ව්‍යර්ථ කර තිබේ. නෙයිනකාඩු ගල්ඔය ගඟෙන් අනවසරයෙන් වැලි ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.
පොලිස් නිලධාරීන් වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් ලොරි රථය ඔවුන් දෙසට පදවා නිලධාරීන් යට කිරීමට උත්සාහ කර ඇති අතර, එහිදී සිය ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය ලොරි රථයට වෙඩි තබා තිබේ. ඉන් අනතුරුව සැකකරුවන් ලොරි රථය පදවාගෙන පලා ගොස් ඇති අතර පොලිස් නිලධාරීන් කිලෝමීටර් 15ක් පමණ දුරක් ඔවුන් ලුහුබැඳ ගොස් ඇත.
ලුහුබැඳ යාම හමුවේ ලොරි රථය අතහැර රියදුරු ඇතුළු පිරිස පලා ගොස් ඇති අතර, පොලිස් භාරයට ගත් ලොරි රථය සමන්තුරේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ. ගල්ඔය ගඟේ සිදුවන මෙම දැවැන්ත පරිසර විනාශය හේතුවෙන් ගං ඉවුරට දැඩි හානි සිදුව ඇති බව අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේය.















