2026 වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 2.66%ක සුළු පහත වැටීමක් වාර්තා කර තිබේ. ඒ අනුව 2025 ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 437.07ක් වූ අපනයන ආදායම, මෙවර ජනවාරි මාසය වන විට ඩොලර් මිලියන 425.44ක් දක්වා අඩුවී ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.ප්‍රධාන අපනයන වෙළඳපොළවල් වන ඇමෙරිකාව වෙත සිදුකළ අපනයන 2.73%කින් සහ යුරෝපා සංගමය (බ්‍රිතාන්‍යය හැර) වෙත සිදුකළ අපනයන 1.93%කින් ද පහත වැටී ඇත. කෙසේ වෙතත්, එක්සත් රාජධානියේ (UK) වෙළඳපොළ ස්ථාවර මට්ටමක පවතින අතර, එහි 0.23%ක සුළු වර්ධනයක් සමඟ අපනයන ආදායම ඩොලර් මිලියන 61.71ක් ලෙස සටහන් විය. 2026 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වන නව DCTS වෙළඳ රාමුව බ්‍රිතාන්‍ය වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ තරඟකාරිත්වය ඉහළ නැංවීමට හේතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රධානීන් පෙන්වා දෙන්නේ ගෝලීය ඉල්ලුමේ පවතින අස්ථාවරත්වය මෙම පහත වැටීමට හේතු වී ඇති බවයි. කෙසේ වෙතත්, ඇමෙරිකාව විසින් පනවා ඇති 10%ක ඒකාකාරී තාවකාලික බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට යම් වාසිදායක තත්ත්වයක් උදාකර දී ඇති බවත්, නව වෙළඳපොළවල් සොයා යාම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම හරහා ඉදිරි මාසවලදී අපනයන ආදායම ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරන බවත් ඇඟලුම් අපනයනකරුවන්ගේ මණ්ඩලය (JAAF) වැඩිදුරටත් සඳහන් කරයි.














