මෙරට ධීවර කර්මාන්තය නවීකරණය කරමින් ධීවර ජනතාවගේ කටයුතු පහසු කිරීම සඳහා නව තාක්ෂණය මුසු වූ වැඩපිළිවෙල රැසක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බව ධීවර හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ප්‍රකාශ කළේය. හබරාදූව සහ ඉමදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
සාම්ප්‍රදායික ධීවර ක්‍රමවේද වෙනුවට නවීන තාක්ෂණය භාවිත කිරීම හරහා ධීවරයින්ගේ පිරිවැය අවම කර ගැනීමටත්, මත්ස්‍ය අස්වැන්න නාස්තියකින් තොරව වෙළඳපොළට නිකුත් කිරීමටත් රජය අපේක්ෂා කරයි. විශේෂයෙන්ම ගැඹුරු මුහුදු ධීවර කටයුතු සඳහා අවශ්‍ය නිරීක්ෂණ පද්ධති සහ සන්නිවේදන පහසුකම් දියුණු කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සංවර්ධන රැස්වීමේදී ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළබඩ ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය සහ ධීවර වරායන් ආශ්‍රිතව ඇති වී තිබෙන ගැටලු පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. ක්ෂේත්‍රයේ පවතින ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දෙමින් ධීවර ආර්ථිකය ශක්තිමත් කිරීම රජයේ මූලික ඉලක්කය බව රත්න ගමගේ මහතා මෙහිදී අවධාරණය කළේය.














