හෙරොයින් මත්කුඩු ළඟ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීමේ චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටි ජයසිංගම් රජීව් හෙවත් සුදාකරන් නමැති විත්තිකරු ඉදිරිපත් කළ අභියාචනය නිෂ්ප්‍රභ කළ අභියාචනාධිකරණය, ඔහුට පනවා තිබූ මරණීය දණ්ඩනය තහවුරු කිරීමට තීන්දු කළේය. අභියාචනාධිකරණ විනිසුරු පී. කුමාරන් රත්නම්ගේ එකඟත්වය ඇතිව විනිසුරු ශෂී මහේන්ද්‍රන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
2014 වසරේ මාර්තු 17 වනදා කොළඹ මාදම්පිටිය ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 2.53ක් සන්තකයේ තබාගෙන සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වූ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබුණි. එහිදී ඔහු වරදකරු කරමින් මරණීය දණ්ඩනය නියම වූ අතර, විත්තිකරු එම තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සාක්ෂිවල පරස්පරතාවයන් සැලකිල්ලට ගෙන නොමැති බවත් තමාව අත්අඩංගුවට ගත් ආකාරය නීතියට පටහැනි බවත්ය.
කෙසේ වෙතත්, අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සිය තීන්දුව ප්‍රකාශ කරමින් අවධාරණය කළේ මහාධිකරණ විනිසුරුවරයා විසින් සාක්ෂි නිසි පරිදි විශ්ලේෂණය කර තීන්දුව ලබාදී ඇති බැවින් ඊට මැදිහත් වීමට අවශ්‍යතාවක් නොමැති බවයි. ඒ අනුව, පැමිණිල්ල විසින් එල්ල කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බව සඳහන් කරමින් විත්තිකරුගේ ඇපෑල ඉවත දැමීමට අධිකරණය කටයුතු කළේය.















