අකුරේගොඩ ප්‍රදේශයේදී නීතීඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ දෙවැනි වෙඩික්කරුට නවාතැන් පහසුකම් සලසා දුන් පුද්ගලයෙකු බිබිල, මැදගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (26) මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මොනරාගල, නක්කල මැදිරිය ප්‍රදේශයේ පදිංචි, කලක් උපකාරක පන්ති ගුරුවරයෙකු ලෙස කටයුතු කළ 51 හැවිරිදි ටී.ඒ.එම්. ප්‍රසාද් ධර්මප්‍රිය නමැති අයෙකි.
මෙම ඝාතන සිද්ධියේ දෙවැනි සැකකරු ලෙස සැලකෙන, මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තැබූ බවට සැකකෙරෙන ඉමදූව ප්‍රදේශයේ පදිංචි මනෝජ් උදයංග නමැත්තා පසුගිය 25 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේ ද මෙම ගුරුවරයාගේ නිවසේ රැඳී සිටියදීය. අපරාධකරුවෙකුට නවාතැන් දෙමින් රැකවරණය සැලසීමේ චෝදනාව මත නිවසේ අයිතිකරු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය ඇතිව මොනරාගල පොලීසිය විසින් සිදුකළ මෙම වැටලීමෙන් පසු, සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ දකුණ පොලිස් අපරාධ අංශය වෙත භාර දී තිබේ. මොනරාගල නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්.එම්.එස්.ඩී. වික්‍රමසිංහ සහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ප්‍රේමතිලක යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන ලදී.















