කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය මගින් සංවිධානය කරනු ලබන “සංජනනී” සන්නිවේදන හා මහජන සම්බන්ධතා හරසර සම්මාන උලෙළ මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි. 2022 වසරේදී සමාරම්භය සනිටුහන් කළ මෙම සම්මාන උලෙළ, සන්නිවේදන විෂය හදාරන සිසුන් සහ ආචාර්ය මණ්ඩලයේ සාමූහික ප්‍රයත්නයක් ලෙස වාර්ෂිකව පවත්වනු ලබයි.
මෙරට මාධ්‍ය, සන්නිවේදන සහ කලා ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා අනුපමේය මෙහෙවරක් ඉටුකළ ප්‍රවීණයන් ඇගයීම මෙහි මූලික අරමුණයි. ඒ අනුව මෙවර “සංජනනී” හරසර සම්මානයෙන් පිදුම් ලැබුවේ මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර මහත්මිය, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී විජයානන්ද ජයවීර මහතා සහ මහාචාර්ය විමල් දිසානායක මහතාය. කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උළෙලට දෙස් විදෙස් විද්වතුන් රැසක් සහභාගී වූහ.
සම්මාන ප්‍රදානයට සමගාමීව පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් විශේෂ අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් ද ක්‍රියාත්මක විය. එහිදී මාධ්‍ය විෂය හදාරන සිසුන් වෙනුවෙන් ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය මනෝජ් ජිනදාස සහ ප්‍රවීණ මාධ්‍යවේදී නාලක ගුණවර්ධන යන මහත්වරුන් විසින් මෙහෙයවනු ලැබූ විශේෂ දේශන තුනක් පවත්වන ලදී. සන්නිවේදන ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා පිළිබඳව සිසුන් දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.













