2026 වර්ෂය සඳහා තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් සහ සීලමාතාවන් වෙත රජය මගින් ලබාදී ඇති පාවහන් තිළිණපත් (Vouchers) වලංගු කාලසීමාව දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මෙතෙක් මෙම තිළිණපත්වල වලංගු කාලය 2026 පෙබරවාරි 28 දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණි.
අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිල නිවේදනයට අනුව, රුපියල් 3,000.00ක වටිනාකමකින් යුත් මෙම පාවහන් තිළිණපත් භාවිත කර පාවහන් මිලදී ගැනීම සඳහා මාර්තු මස 15 වනදා දක්වා සහන කාලයක් හිමිවේ. විවිධ හේතූන් මත නියමිත දිනට පෙර වවුචර්පත් ලබා ගැනීමට හෝ භාවිත කිරීමට අපොහොසත් වූ සිසුන් සහ දෙමාපියන් වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇත.
මෙම දීර්ඝ කරන ලද කාලසීමාව තුළ අදාළ බලයලත් වෙළඳ ආයතන වෙතින් පාවහන් ලබා ගැනීමට අවස්ථාව පවතින බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. මෙම වැඩපිළිවෙළ යටතේ දිවයින පුරා දුෂ්කර පාසල්වල සිසුන් ලක්ෂ ගණනකට සහන සැලසෙන අතර, රජය මේ වෙනුවෙන් විශාල ප්‍රතිපාදනයක් වෙන් කර තිබේ.














