ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) මගින් ක්‍රියාත්මක කරනු ලබන ‘SLIDER’ ව්‍යාපෘතිය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය වෙත නවීන ඩ්‍රෝන කැමරා පරිත්‍යාග කිරීමේ උත්සවයක් අද (27) එම අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ මාර්ග ප්‍රවාහන පද්ධතිය නායයාම් වැනි ස්වභාවික ආපදාවලට ඔරොත්තු දෙන අයුරින් ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. JICA නියෝජිත නෝරු මත්සුනෝෂිටා මහතා විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටී. පාස්කරන් මහතා වෙත මෙම උපකරණ නිල වශයෙන් භාර දෙන ලදී.
මෙම ඩ්‍රෝන තාක්ෂණය භාවිත කිරීම හරහා මහාමාර්ග ආශ්‍රිතව සිදුවන නායයාම් වැනි ආපදා අවස්ථාවලදී, නිලධාරීන්ට ළඟා වීමට අපහසු ස්ථානවල දත්ත වඩාත් නිරවද්‍යව සහ කඩිනමින් ලබා ගැනීමට අවස්ථාව සැලසේ. ලබාගන්නා දත්ත ආශ්‍රයෙන් මාර්ග සැලසුම්කරණ සහ නිර්මාණ කටයුතු (Planning & Design) වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට හැකි වන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය. හුදෙක් උපකරණ ලබාදීම පමණක් නොව, එම ඩ්‍රෝන කැමරා ක්‍රියා කරවීමට අවශ්‍ය විශේෂඥ තාක්ෂණික පුහුණුවද අධිකාරියේ නිලධාරීන් වෙත ලබාදීමට JICA ආයතනය කටයුතු කර තිබේ.
මෙම අවස්ථාවට JICA ආයතනය වෙනුවෙන් එරිකෝ සතෝ, තොමෝයුකි වදා ඇතුළු නියෝජිත පිරිසක් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එච්. හෙට්ටිආරච්චි මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ. මෙම නව තාක්ෂණික හඳුන්වාදීමත් සමඟ මෙරට කඳුකර මාර්ග පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීම සහ ආපදා කළමනාකරණය නව මාවතකට යොමු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














