2026 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය ප්‍රබල වර්ධනයක් පෙන්නුම් කරමින්, ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (PMI) දර්ශකාංක 75.0ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2020 ජූලි මාසයෙන් පසු වාර්තා වූ ඉහළම අගයයි. නව වසර ආරම්භයත් සමඟ නව ව්‍යාපෘති රැසක් ආරම්භ වීම සහ දෙසැම්බර් මාසයේ පැවති අහිතකර කාලගුණය මඟ හැරී යාම මෙම වර්ධනයට ප්‍රධාන හේතු වී තිබේ. ඉදිකිරීම් අංශයේ නව ඇණවුම් සහ සේවා නියුක්තිය ඉහළ ගියද, ක්ෂේත්‍රයට අවශ්‍ය දක්ෂ ශ්‍රමිකයන් බඳවා ගැනීමේදී තවදුරටත් අභියෝග පවතින බව ව්‍යාපාරික ආයතන අවධාරණය කරයි. එමෙන්ම ව්‍යාපෘති සඳහා අවශ්‍ය ද්‍රව්‍ය රැස්කර ගැනීම හේතුවෙන් මිලදී ගැනුම් ඉහළ ගොස් ඇති පසුබිමක, සැපයුම්කරුවන් ඇණවුම් ලබා දීමට ගතවන කාලයද තරමක් දිගු වී ඇති බව වාර්තාවේ සඳහන් වේ.














