ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්ත ප්‍රදර්ශනය වන ‘Textile Series’ හි 15 වන සංස්කරණය 2026 මාර්තු 05 සිට 07 දක්වා කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) පැවැත්වීමට නියමිතය. ගෝලීය තාක්ෂණ සපයන්නන්, නිෂ්පාදකයින් සහ අපනයනකරුවන් එකම වහලක් යටට ගෙන එන මෙම දැවැන්ත ප්‍රදර්ශනය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (26) කොළඹදී පැවැත්විණි. එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කළේ 2030 වසර වන විට මෙරට සමස්ත අපනයන ආදායම ඩොලර් බිලියන 36 දක්වා ඉහළ නැංවීම රජයේ ජාතික ඉලක්කය බවයි.
පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනයෙන් ඩොලර් බිලියන 5.3 ක ආදායමක් උපයා ඇති අතර, 2030 වන විට එය ඩොලර් බිලියන 8 ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කෙරේ. දැනට මෙරට අපනයනවලින් 50% ක් පමණ ඇමරිකාව, යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍යය වෙත යොමු වන බැවින්, ඉදිරියේදී ආසියාන් (ASEAN), මැදපෙරදිග සහ අප්‍රිකානු වෙළඳපොළවල් කරා ව්‍යාප්ත වීමේ අවශ්‍යතාවය ද සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම ජනවාරි මාසයේ අපනයන ආදායම 30% කින් වර්ධනය වීම 2026 වසර අපනයන ක්ෂේත්‍රයට සුබදායී වසරක් වන බවට පෙරනිමිති පළ කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ප්‍රදර්ශනයට සමගාමීව ‘Textech Sri Lanka’, ‘Colombo International Yarn & Fabric Show’ සහ ‘Dye+Chem Sri Lanka’ යන ප්‍රදර්ශන ත්‍රිත්වයම පැවැත්වෙන අතර, එය රෙදිපිළි ක්ෂේත්‍රයේ යන්ත්‍රෝපකරණ, නූල්, රෙදිපිළි සහ රසායන ද්‍රව්‍ය යන සමස්ත දාමයටම අදාළ ජාත්‍යන්තර සැපයුම්කරුවන් හමුවීමට ලැබෙන අගනා අවස්ථාවකි. වසර 14 ක නිහැඬියාවකට පසු 2026 ජූනි මස පැවැත්වීමට නියමිත ‘Sri Lanka Expo 2026’ ප්‍රදර්ශනය පිළිබඳව ද මෙහිදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි. මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කරමින් ගෝලීය තරඟකාරීත්වය ජය ගැනීම මෙම ප්‍රදර්ශන මාලාවේ ප්‍රධාන අරමුණයි.














