හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් ප්‍රවාහන සහ ලොජිස්ටික් අංශය වන ඇඩ්වාන්ටිස් (Advantis), බෙල්ජියම පදනම් කරගත් ලොව ප්‍රමුඛතම බරැති එසවුම් සහ දොඹකර කුලියට දීමේ සමාගමක් වන සාරන්ස් හෙවි ලිෆ්ට් (Sarens Heavy Lift) සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ තිබේ. මෙම නව ඒකාබද්ධ ව්‍යාපාරය (Joint Venture) හරහා ශ්‍රී ලංකාව තුළ සහ කලාපීය මට්ටමින් මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය වන අති නවීන දොඹකර සේවා සහ ඉංජිනේරුමය එසවුම් විසඳුම් ලබා දීමට අපේක්ෂිතය.
මෙම හවුල්කාරිත්වය යටතේ ක්‍රියාත්මක වන ප්‍රථම සුවිශේෂී ව්‍යාපෘතිය වන්නේ මන්නාරම ප්‍රදේශයේ ඉදිවන මෙගාවොට් 50ක ‘හේවින්ඩ්’ (Haywind) සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියයි. මෙය ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශය විසින් සුළං බලශක්ති ක්ෂේත්‍රයේ සිදු කරන විශාලතම ආයෝජනය ලෙස සැලකේ. ත්‍රිකුණාමලය වරායේ සිට මන්නාරම දක්වා අතිවිශාල බරකින් යුත් සුළං විදුලි ජනක යන්ත්‍ර කොටස් ප්‍රවාහනය කිරීම සහ ඒවා ස්ථාපනය කිරීමේ වගකීම ඇඩ්වාන්ටිස් සහ සාරන්ස් සමාගම් වෙත පැවරී ඇත.
මෙම සංකීර්ණ මෙහෙයුම සඳහා ඇඩ්වාන්ටිස් සමාගම විසින් නවතම වර්ගයේ ‘බ්ලේඩ් ඇඩැප්ටර්’ (Blade Adaptor) සහ ටවර් ප්‍රවාහන ට්‍රේලර් රථ සඳහා ආයෝජනය කර තිබේ. ඇඩ්වාන්ටිස් සතු දේශීය මෙහෙයුම් අත්දැකීම් සහ සාරන්ස් සතු ගෝලීය තාක්ෂණික දැනුම එක්වීමෙන්, මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට අවශ්‍ය නවීනතම ලොජිස්ටික් සහාය උපරිමයෙන් ලබා දීමට හැකි වනු ඇතැයි ඇඩ්වාන්ටිස් සමූහ කළමනාකාර අධ්‍යක්ෂ රුවන් වෛද්‍යරත්න මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ බලශක්ති අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම සහයෝගීතාවය ශක්තිමත් පදනමක් වනු ඇතැයි සාරන්ස් ඉන්දියා සමාගමේ ප්‍රාදේශීය අධ්‍යක්ෂ අතුල් ගවාස් මහතා ද මෙහිදී විශ්වාසය පළ කළේය.














