ගල් අඟුරු ගනුදෙනුවලදී සිදුවූ බව කියන පාඩුව ජනතාව මත පැටවීමට ඉඩ නොතබන බවත්, එම පාඩුව අදාළ සමාගම්වලින් අයකර ගැනීමට රජයට පූර්ණ හැකියාව ඇති බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා පවසයි. පළමු ගල් අඟුරු නැව සම්බන්ධයෙන් රුපියල් මිලියන 595ක පාඩුවක් ඇස්තමේන්තු කර තිබුණ ද, ගිවිසුම්ගත කොන්දේසි අනුව පැනවූ දඩ මුදල් ලෙස රුපියල් මිලියන 644ක් අය කරගෙන ඇති බැවින් ඉන් අතිරික්තයක් ලැබී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම තත්ත්වය විද්‍යාත්මකව විශ්ලේෂණය කිරීම සඳහා විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති අතර, 13 වන නැවේ සිට ගල් අඟුරු පරීක්ෂාව සඳහා වෙනත් සමාගමක් මැදිහත් කර ගැනීමටද රජය සූදානම් වේ. පාඩුව පියවා ගැනීමට නොහැකි වුවහොත්, අදාළ සමාගම සතු ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක කාර්යසාධන බැඳුම්කරය මගින් අදාළ මුදල අය කර ගැනීමට රජයට හැකියාව පවතින බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සහතික විය.














