හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වඩා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දක්ෂ නායකයෙකු බවත්, 2029 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඔහු නියත වශයෙන්ම මෙරට ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ප්‍රකාශ කළේය.
ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වත්මන් දේශපාලන වාතාවරණය තුළ ජනතාවගේ සැබෑ ප්‍රශ්න හඳුනාගනිමින් ඒවාට විසඳුම් සෙවිය හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ අනුගමනය කළ ඇතැම් ක්‍රියාමාර්ගවලට වඩා ජනතාවාදී ප්‍රවේශයක් විපක්ෂ නායකවරයා සතු බව පෙන්වා දුන් විජේසිරි මහතා, ඉදිරි වසර කිහිපය තුළ සමගි ජන බලවේගය වටා ජනතාව රොද බඳිනු ඇති බවටද විශ්වාසය පළ කළේය.
විශේෂයෙන්ම තරුණ පරපුර සහ ග්‍රාමීය ජනතාව අතර පවතින විශ්වාසය මත පදනම්ව 2029 ජයග්‍රහණය පහසුවෙන් අත්කර ගත හැකි බවත්, රට මුහුණ දී ඇති අර්බුදයෙන් මුදවා ගැනීමට අවශ්‍ය කරන වැඩපිළිවෙළ සජිත් ප්‍රේමදාස මහතා සතුව දැනටමත් පවතින බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














