ඊශ්‍රායලය සහ ඇමරිකාව එක්ව ඉරානයට එල්ල කළ ‘ඔපරේෂන් එපික් ෆියුරි’ (Operation Epic Fury) ප්‍රහාරය අතරතුර ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ පවුලේ සාමාජිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ටෙහෙරාන් නගර සභා මන්ත්‍රී මේසම් මොසාෆර් (Meysam Mozaffar) තහවුරු කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, උත්තරීතර නායකයාගේ ලේලි සහ බෑනා මෙම ප්‍රහාරවලින් මියගොස් ඇති අතර, ටෙහෙරාන් නුවර පිහිටි උත්තරීතර නායකයාගේ නිල නිවාස සංකීර්ණය ඉලක්ක කර ගනිමින් බෝම්බ 30ක් පමණ පතිත වී ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී උත්තරීතර නායකයා සිය බංකරය තුළ රැඳී සිට නැති අතර ඔහු ආරක්ෂිත රහස් ස්ථානයකට යොමු කර තිබූ බව ඉරාන බලධාරීන් පවසයි. කෙසේ වෙතත්, ඔහුගේ පවුලේ සමීපතමයන් මෙලෙස මියයාම ඉරාන නායකත්වයට එල්ල වූ දැඩි මානසික හා දේශපාලනික පහරක් ලෙස සැලකේ. මෙම ප්‍රහාරවලින් මේ වන විට ඉරානය පුරා පුද්ගලයන් 200කට අධික පිරිසක් මියගොස් ඇති බවටත්, ඉරාන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු ද මියගිය පිරිස අතර සිටින බවටත් නිල නොවන වාර්තා පළ වේ.














