ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අද (01) විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත්තේ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි (Ayatollah Ali Khamenei) තවදුරටත් ජීවතුන් අතර නොසිටින බවට “බලවත් සලකුණු රැසක්” (Many signs) පවතින බවයි. ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඊයේ දියත් කළ ප්‍රබල ගුවන් ප්‍රහාරවලදී උත්තරීතර නායකයා රැඳී සිටි බව කියන බංකර් සංකීර්ණය ඉලක්ක කර ගනිමින් බෝම්බ 30ක් පමණ හෙළා ඇති බවත්, එම ප්‍රහාරයෙන් ඔහු මියයන්නට ඇති බවට ඊශ්‍රායල බුද්ධි අංශ තක්සේරු කරන බවත් අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත්, උත්තරීතර නායකයාගේ මරණය පිළිබඳව මෙතෙක් නිල හෝ දෘශ්‍යමය සාක්ෂි ඉදිරිපත් කිරීමට ඊශ්‍රායලය පියවර ගෙන නොමැති අතර, ඉරාන රජය මෙම වාර්තා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ තම නායකයා ආරක්ෂිත ස්ථානයක සුවෙන් පසුවන බවයි. කමේනිගේ අභාවය පිළිබඳ තොරතුරු තහවුරු වුවහොත් එය ඉරාන ඉතිහාසයේ සහ මැදපෙරදිග දේශපාලනයේ තීරණාත්මක හැරවුම් ලක්ෂය වනු ඇතැයි විදේශ විශ්ලේෂකයෝ මත පළ කරති. මේ අතර, ඉරානයේ මීළඟ නායකයා වීමට සිටි ඔහුගේ පුත් මොජ්තාබා කමේනි (Mojtaba Khamenei) ද මෙම ප්‍රහාරවලින් මියගොස් ඇති බවට ඊශ්‍රායලයේ ‘කාන්’ (Kan) පුවත් සේවය වාර්තා කර ඇත.














