ඇමරිකානු සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් අයතුල්ලා අලි කමේනි මියයාමත් සමඟ, ඔහුගේ දෙවැනි පුත්‍රයා වන මොජ්ටාබා කමේනි (Mojtaba Khamenei) මීළඟ උත්තරීතර නායකයා ලෙස නම් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මීට පෙර සිටම ඉරාන පාලන තන්ත්‍රයේ “සෙවනැලි බලවතා” ලෙස සැලකුණු 56 හැවිරිදි මොජ්ටාබා, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) ඉහළ පත්වීම්, බුද්ධි අංශ මෙහෙයුම් සහ සිය පියාගේ සමීපතම කටයුතු මෙහෙයවූ පුද්ගලයා ලෙස ප්‍රකටය.
ඉරාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නව නායකයෙකු පත් කිරීමේ බලය ‘විශේෂඥ මණ්ඩලය’ (Assembly of Experts) සතු වුවද, පවතින හදිසි යුදමය වාතාවරණය හමුවේ පවුල් පාලනයක් කරා ගමන් කරමින් මෙම පත්වීම සිදු කර ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. මෙම තත්ත්වය ඇෆ්ගනිස්ථානයේ සිදුවූ දේශපාලන පෙරළිවලට සමාන කරමින් ඇතැම් බටහිර විශ්ලේෂකයින් පවසන්නේ, ඇමරිකාව විසින් කමේනි පාලනය පෙරළා දැමීමට උත්සාහ කළද, අවසානයේදී නැවතත් කමේනි පවුලේම සාමාජිකයෙකු බලයට පත්වීම දෛවෝපගත සිදුවීමක් බවයි. කෙසේ වෙතත්, මොජ්ටාබා කමේනිගේ පත්වීම ඉරාන දේශපාලන හා ආගමික නායකත්වය තුළ අභ්‍යන්තර ගැටුම් ඇති කිරීමට හේතු විය හැකි බවට ද අනාවැකි පළ වේ.














