‘Operation Roaring Lion’ මෙහෙයුම ආරම්භ වීමෙන් පසු ගත වූ දින දෙක තුළ ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායල ජාතිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 120කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) තහවුරු කරයි. ටෙල් අවිව් නුවර පැරණි නේවාසික ගොඩනැගිල්ලකට මිසයිලයක් කඩා වැටීමෙන් 40 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති අතර, තවත් 68 හැවිරිදි කාන්තාවක් ආරක්ෂිත ස්ථානයකට (shelter) දිව යාමේදී හුස්ම ගැනීමේ අපහසුවකින් (suffocation) මියගොස් තිබේ.
ටෙල් අවිව් නුවරට එල්ල වූ සෘජු ප්‍රහාරයෙන් පසුව 200කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇති අතර, ගොඩනැගිලි 40ක් පරීක්ෂා කිරීමේදී ඉන් එකක් බරපතල හානි සිදුවීම නිසා පදිංචියට නුසුදුසු බව ප්‍රකාශ කර ඇත. ඉරානය මෙවර විශාල මිසයිල වාර (waves) වෙනුවට අඛණ්ඩව මිසයිල ගලායාමක් (steady trickle) සිදුකරන බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි.














