ප්‍රංශයේ පැරිස් නගරයේ වාර්ෂිකව පවත්වනු ලබන ලෝක ප්‍රකට “Grand Prix de la Baguette” බැගට් පාන් නිෂ්පාදනය කිරීමේ තරගයෙන් ජයග්‍රහණය කිරීමට 43 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු වන සීතම්පරපිල්ලෙයි ජෙගදීපන් (Sithamparappillai Jegatheepan) සමත්ව තිබේ. තරගකරුවන් 142 දෙනෙකු අභිබවා යමින් ප්‍රථම වතාවට මෙම තරගයට සහභාගී වී ඔහු ලබාගත් මෙම ජයග්‍රහණය ජාත්‍යන්තර මාධ්‍යවල පවා දැඩි අවධානයට ලක්ව ඇත.
පැරිස් නගර සභාව විසින් සංවිධානය කරන ලද මෙම තරගයේදී බැගට් පාන්වල පෙනුම, රසය, පිසීමේ ගුණාත්මකභාවය සහ සුවඳ යන නිර්ණායකයන් යටතේ ජෙගදීපන් නිෂ්පාදනය කළ බැගට් පාන් අංක එකට තේරී පත් විය. මෙම ජයග්‍රහණය වෙනුවෙන් ඔහුට යුරෝ 4,000 ක මුදල් ත්‍යාගයක් හිමි වූ අතර, වඩාත්ම සුවිශේෂී වරප්‍රසාදය වන්නේ වසරක කාලයක් ප්‍රංශ ජනාධිපතිවරයාගේ නිල නිවස වන එලීසේ මාලිගාවට (Élysée Palace) බැගට් පාන් සැපයීමේ නිල කොන්ත්‍රාත්තුව ඔහුට හිමි වීමයි.
පැරිස් නුවර “Fournil Didot” නමින් බේකරියක් පවත්වාගෙන යන ජෙගදීපන්, මෙවැනි ජයග්‍රහණයක් ලැබූ දෙවන ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසයට එක්වේ. මීට පෙර 2023 වසරේදී තර්ෂන් සෙල්වරාජා නමැති ලාංකිකයා ද මෙම සම්මානයම දිනාගත් අතර, ඔහු 2024 ප්‍රංශ ඔලිම්පික් උළෙලේදී ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ දුර්ලභ අවස්ථාවට ද හිමිකම් කීවේය. ලොව ආහාර සංස්කෘතියේ කේන්ද්‍රස්ථානයක් බඳු ප්‍රංශයේදී ඔවුන්ගේම ප්‍රධාන ආහාරයක් සම්බන්ධයෙන් ලාංකිකයන් මෙලෙස දස්කම් දැක්වීම ශ්‍රී ලංකාවට මහත් ගෞරවයකි.














