අමෙරිකාව සහ ඉස්රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති ‘ඔපරේෂන් එපික් පියුරි’,
‘ඔපරේෂන් ෂීල්ඩ් ඔෆ් යූදා’ සහ ‘ඔපරේෂන් රෝරිං ලයන්’ යන ත්‍රිවිධ යුද මෙහෙයුම් හේතුවෙන් මැදපෙරදිග කලාපය දැඩි යුදමය වාතාවරණයකට පත්ව තිබේ. යුද්ධයේ දෙවන දිනය වන අද වන විට, ඉරානයේ ඉහළම අධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනි ඇතුළු එරට ප්‍රබල හමුදා නායකයින් රැසක් මියගොස් ඇති බව තහවුරු වී තිබේ. මෙය ඉරානයට එල්ල වූ දරුණුතම දේශපාලන හා යුදමය පරාජයක් ලෙස සැලකේ.
පසුගියදා එල්ල වූ ප්‍රහාරවලින් ඉරාන විප්ලවීය හමුදාවේ ප්‍රධාන අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් බග්පූර්, ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරී ලුතිනන් ජෙනරාල් අබ්දොල් රහීම් මවුසාවි, ආරක්ෂක අමාත්‍ය අසීස් නසීර්සාදේ සහ ආරක්ෂක මණ්ඩලයේ අද්මිරාල් අලි ෂම්කානි යන මහත්වරුන් මියගොස් ඇත. අමෙරිකානු සහ ඉස්රායල් බුද්ධි අංශ වෙත ලැබුණු අතිශය රහසිගත හා නිරවද්‍ය තොරතුරකට අනුව, මෙම ඉහළ පෙළේ නායකයින් සියලු දෙනා එකම ස්ථානයක හමුවන අවස්ථාව ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.
මෙම ප්‍රහාරයෙන් 86 හැවිරිදි අයතුල්ලා කමේනි පමණක් නොව ඔහුගේ දියණිය, මිණිබිරිය ඇතුළු පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙකුම මියගොස් ඇති බව වාර්තා වේ. සුන්බුන් අතර තිබී කමේනිගේ මළසිරුර හඳුනා ගැනීමෙන් පසුව ඉරාන ජාතික රූපවාහිනිය අද උදෑසන ඔහුගේ මරණය නිල වශයෙන් තහවුරු කළේය. කමේනිගේ නික්මයාම ඉරාන ඉතිහාසයේ පමණක් නොව සමස්ත මැදපෙරදිග කලාපයේ ඉදිරි ගමන් මග තීරණය කරන තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් වනු නිසැකය.














