තෙල්දෙණිය බස් නැවතුම්පොළ පරිශ්‍රයේ අලුතින් ඉදිකරන ලද සංචාරක තොරතුරු මධ්‍යස්ථානය නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ විශේෂ නිරීක්ෂණයට ලක් විය. මධ්‍යම පළාත් ආදායම් උත්පාදන ව්‍යාපෘති යෝජනා සමුළුවට සහභාගී වීම සඳහා පැමිණි අමාත්‍යවරයා, මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ගමනාගමන මධ්‍යස්ථානයක් වන තෙල්දෙණිය හරහා ගමන් ගන්නා දෙස් විදෙස් සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් සලසා ඇති ආකාරය මෙහිදී විමසා බැලීය.
මෙම මධ්‍යස්ථානය තුළ සංචාරකයින්ට අවශ්‍ය තොරතුරු ලබා දීමට අමතරව, ප්‍රමිතියෙන් යුත් ආහාර පාන සහ සනීපාරක්ෂක පහසුකම් ද එකම ස්ථානයකදී ලබා ගැනීමට අවස්ථාව සලසා තිබීම විශේෂත්වයකි. මෙම වසරේ අයවැය මගින් පළාත් පාලන ආයතනවල ආදායම් උත්පාදන ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති රුපියල් මිලියන 2,500ක ප්‍රතිපාදන යටතේ මෙවැනි සංවර්ධන කටයුතු තවදුරටත් පුළුල් කිරීමට රජය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
මීට සමගාමීව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කන්තලේ ජලාශය ආශ්‍රිත ප්‍රදේශය ද සංවර්ධනය කර ජනතාව වෙත විවෘත කෙරිණි. එහිදී වැව් බැම්ම අසල සේවා සපයන වෙළෙඳුන් වෙනුවෙන් ජංගම කඩකාමර 10ක් ලබා දීම ද සිදු වූ අතර, සංචාරකයින්ට පරිසර සුන්දරත්වය අත්විඳීමට අවශ්‍ය මූලික පහසුකම් ද එහි ස්ථාපිත කර තිබේ.














