මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ මෙරට ඉන්ධන පිරවුම්හල් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව සපයන ලෙස පොලිස්පතිවරයා දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබේ. ඉන්ධන හිඟයක් ඇති විය හැකි බවට පවතින අනවශ්‍ය බිය හේතුවෙන් මහජනතාව අනිසි ලෙස ඉන්ධන ගබඩා කිරීමට පෙළඹී ඇති බව නිරීක්ෂණය වීමත් සමඟ මෙම පියවර ගෙන ඇත.
පොලීසිය අවධාරණය කරන්නේ රට තුළ ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බැවින් මහජනතාව කලබලයට පත් විය යුතු නැති බවයි. කෙසේ වෙතත්, සංවිධානාත්මකව ගැලුම් සහ බෝතල් මගින් ඉන්ධන රැස් කිරීම වැළැක්වීම සඳහා ධීවර, කෘෂිකාර්මික හා කාර්මික වැනි අත්‍යවශ්‍ය සේවා සඳහා හැර බාහිර භාජනවලට ඉන්ධන නිකුත් කිරීම තාවකාලිකව සීමා කිරීමට පියවර ගෙන ඇත. වැඩි මිලට ඉන්ධන අලෙවි කිරීමේ ජාවාරම්වල නිරත වන පුද්ගලයින් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පතුරුවන පිරිස් පිළිබඳව ද විමර්ශන ආරම්භ කර ඇති අතර, ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.















