ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ ඝාතනයට පළිගැනීමක් ලෙස ඊශ්‍රායලයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කර (War Announcement) මිනිත්තු කිහිපයකින් හිස්බුල්ලා නායක නයිම් කාසෙම් (Naim Qassem) ඝාතනය කර ඇති බවට පැතිර යන පුවත් පිළිබඳව අද (02) දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) විසින් බේරූට් නුවර දකුණුදිග තදාසන්න ප්‍රදේශවල පිහිටි හිස්බුල්ලා මූලස්ථාන ඉලක්ක කර අතිශය ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළ බව සත්‍යයක් වුවද, නයිම් කාසෙම් එම ප්‍රහාරයෙන් මියගිය බවට මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නොමැත.
හිස්බුල්ලා සංවිධානය අද අලුයම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් “සත්‍ය පොරොන්දුව 4″ (Operation True Promise 4) මෙහෙයුම යටතේ ඊශ්‍රායලයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ බවයි. එම නිවේදනය නිකුත් වී සුළු වේලාවකින් ඊශ්‍රායල ගුවන් යානා බේරූට් අහසේ දිස්වූ අතර, හිස්බුල්ලා නායකත්වය ඉලක්ක කර “නිරවද්‍ය ප්‍රහාර” (Precision Strikes) එල්ල කරන බව IDF ප්‍රකාශ කළේය. හිස්බුල්ලා පාර්ශවය පවසන්නේ සිය නායකත්වය ආරක්ෂිත ස්ථානයක පසුවන බවයි. කෙසේ වෙතත්, නයිම් කාසෙම්ගේ ඉරණම පිළිබඳව අවිනිශ්චිතතාවයක් පවතින අතර, ඉරානය පවසන්නේ මෙය හිස්බුල්ලා සංවිධානයේ බලය බිඳ දැමීම සඳහා බටහිර මාධ්‍ය විසින් පතුරුවනු ලබන මනෝවිද්‍යාත්මක යුද උපායමාර්ගයක් (Psychological Warfare) බවයි.














