මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඇති වූ දැඩි මගී තදබදය මේ වන විට පාලනය කර ඇති බව වරාය හා ගුවන්තොටුපොළ සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
ගුවන්තොටුපොළේ රැඳී සිටින මගීන් සඳහා අවශ්‍ය නවාතැන් ඇතුළු මූලික පහසුකම් ලබා දීමට පියවර ගෙන ඇති අතර, සංචාරකයන්ගේ වීසා බලපත්‍ර දීර්ඝ කිරීමට අවශ්‍ය කටයුතු ද මේ වන විට සිදුවෙමින් පවතී.
මැදපෙරදිග ගමනාන්ත වෙත පියාසර කරන ගුවන් යානා හදිසි ගොඩබැස්සවීම් සඳහා අවසර ඉල්ලා සිටියහොත්, ඒ සඳහා කටුනායක සහ මත්තල ගුවන්තොටුපොළවල් සූදානම් කර ඇති අතර ගුවන් හමුදාවේ සහාය ද මේ සඳහා ලබා ගනී.
ගුවන් මගීන් ගුවන්තොටුපොළ වෙත පැමිණීමට පෙර අදාළ ගුවන් සේවා සමාගම් සමඟ සම්බන්ධ වී තම ගුවන් ගමනේ වත්මන් තත්ත්වය පිළිබඳව නිවැරදිව දැනුවත් වන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියි. එමගින් අනවශ්‍ය තදබදයන් වළක්වා ගත හැකි බව ඔහු පෙන්වා දෙයි.
















