2025 වසරේ ජනවාරි මාසයට සහ මෑත මාසවලට සාපේක්ෂව, 2026 වසරේ ජනවාරි මාසය තුළ ශ්‍රී ලංකාවේ විදේශ අංශයේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. විශේෂයෙන්ම අපනයන ආදායම්, විදේශ ප්‍රේෂණ, සංචාරක ඉපැයීම් සහ පැමිණීම් ඇතුළු සෑම අංශයකම මෙම වර්ධනය දක්නට ලැබේ.
විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 751ක් ලෙස වාර්තා වී ඇති අතර, එය පෙර වසරේ එම මාසයට වඩා සියයට 31.1ක ඉහළ වර්ධනයකි. සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 378ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර සංචාරක පැමිණීම් ද 2025 වසරේ මට්ටම් ඉක්මවා ගොස් තිබේ.
පෞද්ගලික සහ වාණිජ රථ වාහන ආනයනය සඳහා වූ වියදම 2025 දෙසැම්බර් මාසයේදී වාර්තා වූ ඩොලර් මිලියන 301කට සාපේක්ෂව 2026 ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 224ක් දක්වා පහළ ගොස් ඇත. කෙසේ වෙතත්, අපනයන මිල ගණන්වලට වඩා ආනයන මිල ගණන් ඉහළ යාම නිසා වෙළඳ මිල අනුපාතය යම් පහත වැටීමක් පෙන්නුම් කරන බව මහ බැංකුව පෙන්වා දෙයි.
2026 ජනවාරි මස අග වන විට චීන මහජන බැංකුව සමඟ වන විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත්ව දළ නිල සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 6.8ක් ලෙස සටහන් වේ. පෙබරවාරි මස අග වන විට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 0.2කින් අතිප්‍රමාණය වී ඇති බව ද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.














