ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ටා ක්ලැරිටා හි පදිංචි බිලී සහ ඩේවිඩ් සන්හොපර් (Billy and David Sonhopper) යුවළ කලක සිට මුහුණ දුන් අභිරහස් සෞඛ්‍ය ගැටලුවලට හේතුව ඔවුන්ගේම නිවසේ සිටි සහකරු (Roommate) බව අනාවරණය වී තිබේ. මාස කිහිපයක සිට පපුවේ සහ උදරයේ දැඩි වේදනාවක් හේතුවෙන් කිහිප වතාවක් රෝහල්ගත වීමට සිදු වූ මෙම යුවළට, තමන්ගේ අක්මාවට බරපතල හානි සිදුව ඇති බවත් එය කිසියම් වස වර්ගයක් ශරීරගත වීම නිසා සිදු වූවක් විය හැකි බවත් වෛද්‍යවරුන් අනතුරු අඟවා තිබුණි.
මෙම සැකය මත ඔවුන් සිය නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමේදී දැකගත හැකි වූයේ කිසිවෙකුත් අපේක්ෂා නොකරන බිහිසුණු දර්ශනයකි. ඔවුන් සමඟ එම නිවසේම ජීවත් වූ ටිමොති බ්‍රැඩ්බරි (Timothy Bradbury) නමැති පුද්ගලයා ගෑස් ආවරණයක් (Gas mask) පැළඳගෙන ඔවුන්ගේ ආහාර පානවලට සහ උපකරණවලට කෘමිනාශක ඉසින ආකාරය එහි සටහන්ව තිබුණි. ඔහු විසින් නිල් පැහැති ‘Raid’ වර්ගයේ කෘමිනාශක ටින් එකක් භාවිත කරමින් එළවළු, පළතුරු, කෝපි මැෂිම සහ මුළු කුස්සියටම වස මිශ්‍ර කරන අයුරු එම වීඩියෝ පටවල දැක්වේ.
මෙම සිදුවීමෙන් පසු වහාම පොලිසිය කැඳවීමට පියවර ගත් අතර, පැය දෙකක මෙහෙයුමකින් පසු සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි විය. මොහු මානසික රෝගයකින් පෙළෙන්නෙකු බවත්, මීට පෙර ද එම යුවළගේ දේපළවලට හානි කර ඇති බවත් හෙළි වී තිබේ. දැනටමත් අක්මාවට හානි සිදුව ඇති මෙම යුවළ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර, සැකකරුට එරෙහිව ආහාර පානවලට වස මිශ්‍ර කර මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම ඇතුළු බරපතල චෝදනා ගොනු කර ඇත. වසරක් පුරා විඳි මෙම බිහිසුණු අත්දැකීමෙන් පසු තමන්ට අවශ්‍ය වන්නේ නිදහසේ සහ ආරක්ෂිතව ජීවත් වීමට බව එම යුවළ පවසා සිටියි.














