ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීම සඳහා දියත් කළ මෙහෙයුම දශක කිහිපයක පූර්ව සැලසුම්වල ප්‍රතිඵලයක් බවත්, එය ක්‍රියාත්මක කිරීමට ගතව ඇත්තේ තත්පර 60ක් වැනි කෙටි කාලයක් බවත් නවතම බුද්ධි තොරතුරු වාර්තා හෙළි කරයි. ඊශ්‍රායල රහස් ඔත්තු සේවය වන ‘මොසාඩ්’ (Mossad) ආයතනය විසින් වසර ගණනාවක් පුරා රැස්කළ තොරතුරු සහ පසුගිය මාස හයක කාලය තුළ අමෙරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA) සැපයූ තාක්ෂණික සහාය මෙම ඓතිහාසික ප්‍රහාරයට පදනම වී තිබේ.
මෙම ප්‍රහාරයෙන් 86 හැවිරිදි කමේනි සමඟ ඉරාන ආරක්ෂක අංශවල ඉහළම නායකයන් හත් දෙනෙකු, ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ තවත් ජ්‍යෙෂ්ඨ නායකයන් 40 දෙනෙකු පමණ මියගොස් ඇත. ටෙහෙරාන් අගනුවර හදවතේ පිහිටි නායකත්ව මධ්‍යස්ථානයක ඉහළ පෙළේ රැස්වීමක් පැවැත්වෙන බවට CIA ආයතනය ලබාදුන් තීරණාත්මක තොරතුරකට අනුව සෙනසුරාදා උදෑසන මෙම ප්‍රහාරය එල්ල කර තිබේ. කමේනිගේ දෛනික චර්යාව, ඔහු භාවිත කළ ‘බර්නර්’ දුරකථන සහ ඔහු ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳව වසර ගණනාවක් තිස්සේ ඊශ්‍රායලය අතිශය රහසිගත ලිොනු පවත්වාගෙන ගොස් ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙම ඝාතනය සම්බන්ධයෙන් බුද්ධි අංශ ප්‍රවීණයන් අතර පවතින්නේ දෙගිඩියාවකි. ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ නායකයන් ඝාතනය කිරීමෙන් පමණක් දේශපාලන ගැටලු විසඳිය නොහැකි බවයි. මීට පෙර හමාස් සහ හිස්බුල්ලා නායකයන් ඝාතනය කළ ද එම සංවිධාන තවමත් ක්‍රියාත්මක වන බවත්, එක් නායකයෙකු ඉවත් කළ විට තවත් අන්තවාදී නායකයෙකු එම ස්ථානයට පත්විය හැකි බවත් ඔවුන් අනතුරු අඟවයි. මෙම ඝාතනයත් සමඟ මැදපෙරදිග කලාපය නැවතත් දැඩි අස්ථාවරත්වයකට සහ ප්‍රචණ්ඩත්වයකට තල්ලු වී තිබේ.














