කුවේට් රාජ්‍යයේ කුවේට් සිටි (Kuwait City) අගනුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාල පරිශ්‍රයට අද (02) පෙරවරුවේ ඉරාන ඩ්‍රෝන හෝ මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බවට විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ඒ එෆ් පී (AFP) පුවත් සේවයේ වාර්තාකරුවෙකු උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ, තානාපති කාර්යාලය පිහිටි ප්‍රදේශයෙන් විශාල කළු දුමාරයක් අහසට නැගෙන අයුරු නිරීක්ෂණය කළ හැකි බවයි. මෙම ප්‍රහාරයත් සමඟ තානාපති කාර්යාලය විසින් වහාම හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කරමින් සියලුම ඇමරිකානු පුරවැසියන්ට සහ නිලධාරීන්ට තම නිවෙස්වල පහළම මහලේ ජනේලවලින් ඈත්ව ආරක්ෂිතව සිටින ලෙසත්, කිසිසේත්ම තානාපති කාර්යාලය වෙත නොපැමිණෙන ලෙසත් (Do not come to the Embassy) නියෝග කර තිබේ.
කුවේට් ගිනි නිවන හමුදාව සහ ගිලන් රථ විශාල සංඛ්‍යාවක් තානාපති කාර්යාලය පිහිටි කලාපය වෙත යොමු කර ඇති අතර, ප්‍රහාරයෙන් සිදුවූ දේපළ හානි හෝ ජීවිත හානි පිළිබඳ නිශ්චිත තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත. කුවේට් ගුවන් ආරක්ෂණ පද්ධති විසින් අද අලුයම සිට එල්ල වූ ඩ්‍රෝන යානා කිහිපයක් සාර්ථකව විනාශ කළ ද, ඉන් එකක් හෝ මිසයිල සුන්බුන් තානාපති කාර්යාලය අසලට පතිත වී ඇති බවට සැක කෙරේ. ඉරානය විසින් සිය 3 වන දින පළිගැනීමේ මෙහෙයුම් යටතේ ගල්ෆ් කලාපයේ ඇමරිකානු මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර දියත් කර ඇති අතර, මේ වන විට කුවේට් නගරය පුරා දැඩි යුදමය නොසන්සුන්කාරී තත්ත්වයක් පවතී.














