විවේකී නිවාඩුවක් ගත කිරීමට සැලසුම් කරන ඔබ, කළු, නාවික නිල් (Navy) හෝ අළු පැහැති ගමන් මලු (Suitcases) භාවිත කරන්නේ නම් ඒ පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතු බව ආරක්ෂක විශේෂඥයෝ අනතුරු අඟවති. මෑත කාලීන පර්යේෂණවලට අනුව සංචාරකයන්ගෙන් 95%ක්ම සිය ගමන් මලු සඳහා තෝරා ගන්නේ මෙම සාමාන්‍ය වර්ණ තුනයි. එය සොරකම් කිරීමට බලා සිටින පුද්ගලයන්ට මහඟු අවස්ථාවක් සලසා දෙන බව ආරක්ෂක උපදේශක අරන් ධර්මරත්නම් (Aran Dharmeratnam) පවසයි.
සොරුන් සැමවිටම උත්සාහ කරන්නේ සෙනඟ අතර කැපී නොපෙනී සිටීමටයි. ඔබ කළු හෝ තද පැහැති ගමන් මල්ලක් රැගෙන යන විට, එය සොරකම් කරන පුද්ගලයාට ඉතා පහසුවෙන් සෙනඟ අතරට වැදී අතුරුදහන් වීමට හැකියාව ලැබේ. “කවුරුහරි මගේ බෑග් එක හොරකම් කළා, ඒක අර බෑග් එක වගේමයි” කියා ඔබ කෑගැසූ විට, ගුවන් තොටුපළේ ඇති බෑග් සියල්ලම පාහේ එකම වර්ණයෙන් යුක්ත වීම නිසා සොරා හඳුනා ගැනීම අසීරු වෙයි. නමුත් ඔබ තද කොළ, තැඹිලි හෝ රෝස වැනි කැපී පෙනෙන වර්ණයක් භාවිත කරන්නේ නම්, සොරාට එය රැගෙන පලා යාම අතිශය අවදානම් සහගත ක්‍රියාවක් වෙයි.
ගුවන් සමාගම් පවා පෙන්වා දෙන්නේ වසරකට අතුරුදහන් වන මිලියන 33ක් පමණ වූ ගමන් මලු සොයා ගැනීමට ඇති ප්‍රධානතම බාධාව වන්නේ ඒවායේ ඇති වර්ණ සමානකම බවයි. රයන්එයාර් (Ryanair) වැනි ගුවන් සමාගම් පවසන්නේ ජනගහනයෙන් 99.9%ක්ම එකම වර්ණ භාවිතා කිරීම නිසා නැතිවූ බෑග් හඳුනා ගැනීම අසීරු වන බවයි. ඔබ සතුව දැනටමත් කළු පැහැති ගමන් මල්ලක් පවතී නම්, එය ඉවත දැමිය යුතු නැත. ඒ වෙනුවට කැපී පෙනෙන වර්ණවත් පටියක් (Strap) හෝ සලකුණක් බෑගයට එක් කිරීමෙන් සොරුන්ගෙන් ආරක්ෂා වීමට මෙන්ම බෑග් හුවමාරු වීම් වළක්වා ගැනීමට ද ඔබට හැකියාව ලැබෙනු ඇත.














