රජය යටතේ පවතින ආර්ථික මධ්‍යස්ථාන පෞද්ගලික සමාගම් වෙත පැවරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව එළවළු ගොවීන් සිය දැඩි විරෝධය පළ කර සිටියි. නිෂ්පාදන පිරිවැය අඩු කර ගොවීන් නගාසිටුවන බවට පොරොන්දු වූ රජය, ගොවීන්ට කිසිදු යහපතක් නොවන අයුරින් මෙම මධ්‍යස්ථාන පෞද්ගලික අංශයට පැවරීමට කටයුතු කරන බව ඔවුහු චෝදනා කරති.
දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් සමන්විත කළමනාකරණ භාරයක් යටතේ ක්‍රියාත්මක වූ ආර්ථික මධ්‍යස්ථාන 18ක් මෙලෙස පෞද්ගලික අංශයට පැවරීමට සැලසුම් කර ඇත. අතරමැදි ක්‍රමය හේතුවෙන් දැනටමත් පීඩාවට පත්ව සිටින තමන්ට, පෞද්ගලික අංශයේ මැදිහත්වීම හරහා ලාභදායී වෙළෙඳපොළක් අහිමි වනු ඇතැයි ගොවීහු බිය පළ කරති.
වැලිමඩ – ඌව පරණගම ගොවි සංගමයේ කැඳවුම්කරු ආර්. එම්. රෝහණ රාමනායක මහතා පවසන්නේ රුපියල් 250කට අල කිලෝවක් මිලදී ගන්නා බවට රජය දුන් පොරොන්දුව කඩ කර ඇති බවයි. දැනට අසීමිත ලෙස අල ආනයනය කිරීම නිසා දේශීය අල කිලෝවක මිල රුපියල් 170 දක්වා පහත වැටී ඇති අතර, අල කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 220 ඉක්මවන බව ඔහු පෙන්වා දෙයි.














